|

උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?

සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්.

ප්‍රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ.

වෙන්දේසියකින් ඇත්ත වශයෙන්ම වෙළඳ පොලේ පවතින වටිනාකමට වඩා විශාල අඩුවකට දේපලක් මිල දී ගන්න පුළුවන් . ඒ වගේම ණය කාරයාටත් (debitore) තමන්ගෙ දීපු මුදල් ඉක්මනට ආයෙ ලබා ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි Asta එක. වෙන්දේසියට ඉදිරිපත් වෙන දේපල වර්ග 2ක් පැහැදිලිව දකින්න පුළුවන් .

  • Asta Immobiliare – නිවාස, කර්මාන්ත ශාලා, හෝටල, භූමියක්, හෝ කවරාකාරයක වාසය කල හැකි ස්ථානයක්
  • Asta Mobiliare – රථ වාහන , ගෘහ භාණ්ඩ , යන්ත්‍ර සූත්‍ර, මැණික් සහ ස්වර්ණාභරණ

 

Asta එකකට කොහොමද සහභාගි වෙන්නෙ?

වෙන්දේසියකට ඕනෙම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්. පුද්ගලිකව හෝ ආයතනයක් විදියට. හැබැයි ණයකරුට සහභාගි වීම තහනම්. නමුත් ණයකාරයාගෙ පවුලේ නෑදෑයන්ට සහභාගි වීමට නම් බාධාවක් නැහැ. පුද්ගලිකව කෙනෙක් සහභාගි වෙනවා නම් අධිකරණ ලේඛනාගාරයෙන් (cacellieria) මුද්දර ගැසූ ලිපියකින් අයදුම් කරන්න ඕනෙ. ආයතනයක් විදියට නම් සහභාගි වෙන්නෙ එහි නීති උපදේශකයා තමයි ආයතනයේ විස්තරද ඇතුලත් කරලා සහභාගි වීම්ට අයදුම් පතක් ඉදිරිපත් කල යුත්තෙ.

 

කොහොමද ඔබට උසාවි දේපල වෙන්දේසියක් ගැන දැන ගන්න පුළුවන් වෙන්නෙ?

වෙන්දේසිය සම්බන්ධ විස්තර උසාවි දැන්වීම් පුවරුවෙ දවස් 3 ක්වත් ප්‍රදර්ශනය කරන්න ඕනෙ. යුරෝ 25,000 ට වැඩි දේපලක් නම් ආස්තාවලට වෙන් වූ ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල , ජාතික පුවත්පත්වල , Asta සම්බන්ධ සඟරාවල, උසාවියේ වෙබ් අඩවියේ ඒ දැන්වීම පල කරන්න ඕනෙ. මේ ආකාරයේ දැන්වීමක අනිවාර්යයෙන්ම දේපලේ විස්තර, වෙන්දේසිය පැවැත්වෙන දිනය, වෙලාව සහ ස්ථානය සහ වෙන්දේසි ආකාරය පැහැදිලිවම සටහන් වෙන්න ඕනෙ.

 

Asta එකක් පැවැත්වෙන ක්‍රම දෙකක් දකින්න පුළුවන්.

  1. Senza incanto මේ ක්‍රමයට තමයි බහුල වශයෙන්ම නිවාස , වෙන්දේසියට ඉදිරිපත් වෙන්නෙ.
  2. Con incantoසාපේක්ෂව අඩු වටිනාකමක් ඇති දේවල් වෙන්දේසි වෙන්නෙ මේ ක්‍රමයට.

 

senza incanto ක්‍රමයට නිවසක් මිලදී ගන්නේ කොහොමද?

උසාවිය විසින් තීන්දු කරනවා වෙන්දේසි කරන දේපලේ , ඉදිරිපත් කල යුතු අවම මිල. අයදුම්කරුවන් විසින් ඒ අවම මිලට වඩා මිලක් ඉදිරිපත් කල යුතුයි . තමන් ඉදිරිපත් කරන මිල සහ එම මුදලෙන් 10%ක ඇපකරයක් (cauzione) සමග උසාවි ලේඛනාගාරයට බාර දෙන්න ඕනෙ, වැසූ ලියුම් කවරයකින්.

ඔන්න වෙන්දේසි දිනේට අයදුම් කරුවන් ඉදිරිපත් කල ලියුම් කවර ප්‍රසිද්ධියේ විවෘත කරනවා. ඔතෙන්දි වැඩිම ලන්සුකරුට දිනුම යන්නෙ නැහැ. වැඩිම ලන්සුවෙ ඉඳලා තව ඉහලට, තරඟෙට ඉල්ලන්න අනෙක් අයට අවස්ථාවක් ලබා දෙනවා. අන්න ඒ තරඟෙදි දිනන කෙනා තමයි අවසන් ජයග්‍රාහකයා වෙලා, දේපලට හිමිකම් ලබන්නෙ. (මේක තේරෙන්නෙ නැති කෙනෙක් අහන්න)

මේ විදියට ආස්තා එකෙන් දිනන කෙනා අවම දින 60ක , උපරිම දින 120 ක කාලයකදී සම්පූර්ණ මුදලම ගෙවල නිම කරන්න ඕනෙ. මුළු මුදලම ගෙවල ඉවර උනාට පස්සෙ තමයි උසාවි නියෝගයකින් අළුත් කෙනාට දේපලේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නෙ. ඒ සමගම registro immobiliare එකේ අළුත් ගැණුම් කරුගේ නමට දේපල ලියවන්නත් උසාවිය කටයුතු යොදනවා. ඒතාක් දේපල සම්බන්ධයෙන් වූ යම් උකස් කිරීමක් (ipoteco) හෝ අත්පත් කර ගැනීමේ නියෝගයක් තිබ්බ නම් (pignoramento) ඒ සියල්ලම මේ සමග අහෝසි වෙනවා.

 

Con Incanto ක්‍රමයට නිවසක් මිලදී ගන්නේ කොහොමද?

Con Incanto ක්‍රමයට බොහෝ විට වෙන්දේසි වෙන්නෙ අඩු වටිනාකමක් ඇති දේපල. නිවාස මේ ක්‍රමයට වෙන්දේසි වෙන්නෙ senza incanto ක්‍රමයට ගන්න කෙනෙක් නැති වෙලා , නිවාසයෙ මිල තව අඩු කරලා වෙන්දේසියට ඉදිරිපත් කරන කොට.

Con incanto ක්‍රමය හරියට අපේ රටේ පන්සලේ සල්පිල වගේ. ප්‍රසිද්ධියේ එක්කෙනෙක් අභිබවා තව කෙනෙක් ඉල්ලනවා. අවසාන ඉල්ලුමට වඩා විනාඩි 3ක කාලයකදි තවත් ලන්සුවක් නාවොත් , අවසන් ලන්සුව ඉදිරිපත් කල කෙනාට තාවකාලිකව ජයග්‍රහණයක් ලැබෙනවා.

දින 10 ක කාලයක් දෙනවා අර අවසන් ඉල්ලුමට වඩා අවම වශයෙන් 1/5 ට වැඩි ලන්සුවක් ඉදිරිපත් කරන්න. ඒ දුන්නු කාලයේදි අවසන් ලන්සුවට වඩා 1/5 කට වැඩි ලන්සුවක් නොආවොත් අවසන් ලන්සුවට ජය ලැබෙනවා. මෙහෙම දින 10කට පස්සෙ පැවැත්වෙන නැවත වෙන්දේසියට පරණ ලන්සු තියපු අයට වගේම අළුත් අයටත් සහභාගි වෙන්න පුළුවන් ලන්සු තියන්න. Con Incanto ක්‍රමයෙදිත් වෙන්දේසියට ඉදිරිපත් වෙන ලන්සු තබන්නන් දේපල වටිනාකමෙන් 10%කට නොඅඩු මුදලක් ඇපකරයක් වශයෙන් තැන්පත් කරන්න ඕනෙ.

 

වෙන්දේසියකට කලින් ගේ බලන්න යන්න පුළුවන් ද?

ඔවු, පුළුවන් . ඒක හොඳ පුරුද්දක් කලින් ඒ දේපල බලන්න ගිහින් , ඒ දේපල තම අභිමථාර්තයන්ට සහ පොකට් එකට හරි යනවද කියල බලන එක. එහෙම විසිට් එකක් දාන්න අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් online අයදුම් කරන්න ඕනෙ. නැතිනම් දේපල සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය පවරා ඇති, උසාවි දැන්වීමේ ඇති භාරකාරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනෙ.

මෙහෙම විසිට් එකකදි දේපලේ යම් කැඩීම් බිඳීම් හෝ වෙනත් ව්‍යූහාත්මක (strutturale) අවුල් තියෙනවා නම් ඒ ගැන විස්තරයක් ඉල්ලන්නත් පුළුවන්. ඒ වගේ අවුල් තියෙනවා නම් කල් තියා දැනුවත් වෙන එක හොඳයි, මොකද වෙන්දේසියෙන් ගෙදර තමන්ට ආවට පස්සෙ මොන අඩු පාඩුවක් තිබ්බත් මිල අඩු කිරීමක් හෝ වන්දි දීමක් කීයටවත් නොවෙන නිසා.

 

SUJITH YADDEHIGE

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *