Tredicesima (13 වෙනි පඩිය)

13 වෙනි පඩිය එන්නෙ කවද්ද? ගණන් බලන්නෙ කොහොමද?

දෙසැම්බර් මාසෙ එන කොට නත්තල හැරෙන්න අපි සතුටු කරන තව කාරණයක් තියෙනවා. ඒ ඉතින් 13 වෙනි පඩිය. අපි පොඩ්ඩක් හොයල බලමු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට හැම දෙසැම්බර් වලම ලැබෙන මේ නත්තල් තෑග්ග ගැන.

මාස 12 ක කාලයක් තිස්සෙ ක්‍රමිකව වර්ධනය වෙලා, අවසානයේ දෙසැම්බර් මාසයේ ඔබ අතට පත් වෙන අමතර පඩිය තමයි Tredicesima (13 වන පඩිය) කියන්නෙ. සාමාන්‍යයෙන් වසර අග එක වරක් පමණක් මේ අමතර පඩිය ඔබ අතට පත් වුනත් විශේෂ අවස්ථාවකදී සේවා දායකයා (Datore di lavoro) සමග ඇති කර ගන්නා එකඟතාවයක් මත, මාසික පඩියට කොටස් වශයෙන් උනත් එකතු කර ගන්න හැකියාවක් තියෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියළුම සේවකයන් කොන්ත්‍රාත් කාලය ගැන නොසලකා මේ අමතර පඩියට සුදුසුකම් ලබනවා. ඒ කියන්නෙ Tempo Determinato ද Tempo Indeterminato ද කියන එක අදාල නැහැ. ඒ වගේම විශ්‍රාම වැටුප් ලාභීනුත් මේ 13 වෙනි පඩියට හිමිකම් කියනවා. නමුත් ස්වයං රැකියා කරුවන්ට මේ පඩිය අහිමියි.

13 වෙනි පඩිය දෙන නිශ්චිත දිනයක් නැති නමුත්, එය අනුවාර්‍යෙන්ම නත්තලට කලින් සේවකයාට ලැබිය යුතුයි. (තමන් වැඩ කරන ක්ෂේත්‍රයේ රැකියා ගිවිසුමෙන් වෙනත් නිශ්චිත දිනයක් දක්වලා නැතිනම් පමණක්) Pubblica Amministrazione සේවකයන්ට 12 වෙන පඩිය සමගම 13 වෙනි පඩියත් එකවර ලැබෙනවා. ඒ ලැබෙන දිනයත් ඔවුන් හොබවන තනතුර සහ වගකීම අනුව (වෛද්‍ය , ගුරු, ලිපිකරු) වෙනස් වෙන්න පුළුවන්. මොනවා උනත් දෙසැම්බර් 20 ඇතුලත නම් ලැබෙන්න ඕනෙ.

13 වෙනි පඩිය කොච්චර වගේ වෙයිද?

මාස 12 ක දල පඩිවල එකතුව, 12 න් බෙදල තමයි සාමාන්‍යයෙන් 13 වෙනි පඩිය හැදෙන්නෙ. ඔබ සේවය කලේ අඩු මාස ගණනක් නම් ඒ සේවය කල මාස කිහිපයේ දල පඩිවල එකතුව තමයි, 12 න් බෙදල 13 වෙනි පඩිය ලෙස ඔබේ අතට පත් වෙන්නෙ.

පොඩි උදාහරණයක් ගමු.

හිතන්න ඔබේ අවුරුද්දක පඩිවල එකතුව යුරෝ 10000 කියල. ඔබ මාස 12 ම වැඩ කලා නම් ඕක 12න් බෙදිලා 13 වෙනි පඩිය විදියට ඔබට ලැබෙන්නෙ යුරෝ 833.33 යි.(10000÷12)

13 වෙනි පඩිය හදන්න ඔබ මාසිකව ලබපු අමතරව වැඩ කල පැය ගණනට කල ගෙවීම් හෝ බෝනස් ගණන් ගැනෙන්නෙ නැහැ. මාසික ඔබේ ස්ථිර වැටුප පමණයි. මුලින් කියපු විදියට 13 වෙනි පඩියට හිමිකම් කියන්න අවුරුද්දක්ම වැඩ කරන්න ඕනෙ නැහැ. මාස 3-4 ක් වැඩ කලාද , ඒත් ඔබට 13 වෙනි පඩිය අයිතියි.

Colf සහ Badante ලාටත් 13 වෙනි පඩිය හිමියි. මේ දෙකොටස ස්ථාන කිහිපයකට රැකියා ගිවිසුමක් සහිතව තම සේවාව සපයනවා නම් ඒ හැම ස්ථානයකින්ම ඔවුන්ට 13 වෙනි පඩිය ලැබෙන්න ඕනෙ.

ඔබ සේවයට වාර්තා නොකළත්, සාධාරණිකරණය කල හැකි තත්වයක් යටතේ (Giustificate) ඒ දින උනත් ඔබේ 13 වෙනි පඩියට ගණන් ගැනෙනවා.

උදාහරණ විදියට කිව්වොත් congedi di maternita e paternità , matrimoniali, infortuni sul lavoro, malattie ( රැකියා ගිවිසුමෙන් දක්වා ඇති සීමාවන් තුල පමණක්)

Cassa integrazione ගිය අයටත් ලැබෙනවද?

සමස්තයක් විදියට කිව්වොත් ඔවුන්ටත් 13 වෙනි පඩිය ලැබෙනවා. නමුත් ඒ හිමිකම රැකියාව නැවතිලා තියෙන්නෙ පූර්ණ වශයෙන්ද, අර්ධ වශයෙන්ද මත වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් ම රැකියා ස්ථානය වහලා නම් 13 වෙන පඩියක් සාමාන්‍ය පරිදි ලැබෙන්නෙ නැහැ. INPS ආයතනය මගින් ගෙවන 80%ක දීමනාවක් තමයි ලැබෙන්නෙ.

13 වෙනි පඩියටත් tax ගහනවා. ඒ කියන්නෙ Contributi Previdenziali සහ Ritenute Fiscali. කොහොම නමුත් 2022 අවුරුද්දට නම් යුරෝ 2692 ට වඩා අඩු පඩි ගන්න අයට අඩු tax එකක් ගහන්න තීරණය වෙලා තියෙනවා. ඒක සතුටට කාරණයක් .

2022 වසරට මිලියන 33.9 ක් සේවකයන් ප්‍රමාණයක් 13 වෙනි පඩියට හිමිකම් ලබනවා.. මින් වැඩිම ප්‍රමාණයක් ඉන්නෙ ලොම්බාර්දියා පළාතෙ ( මිලියන 6.2) ඊට පස්සෙ Lazio මිලියන 3.25, Veneto මිලියන 2.98.

SUJITH YADDEHIGE

Similar Posts