|

ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?

කාලයක් තිස්සේ රැකියාවන්හි නිරතවන අප කාගේත් බලාපොරොත්තුව, විශ්‍රාමික දිවිය සැහැලුවෙන් ගතකරන්න. ඒත් නොසිතූ හේතූන් මත, තම පවුලේ සමාජිකයන්ගෙන් සමුගන්න සිදුවෙන අවස්ථාවන් මෑත කාලයේදී අපට අසන්න දකින්න ලැබුනා. මෙවන් අවස්ථාවලදී එම මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් ආර්ථික අතින් ඉතාම අපහසු තත්වයන්ට පත්වෙනවා. ඒ වගේම නොදැනුවත්කම හේතුවෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා නොගත් අවස්ථාවන්ද මට දැනගන්න ලැබුනා. ඉතාලි භාශාවෙන් තිබෙන ලිපි කියවීමට උනන්දු නොවන ඔබට මෙම තොරතුරැ වැදගත් වෙනු ඇතැයි මා සිතනවා.

Pensione ai superstiti indiretta e di reversibilità
ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?

විශ්‍රාම ලබන වයසේ පසුනොවූ මරණයට පත්වූ පුද්ගලයා, මරණයට පත්වූ දිනය දක්වා ඉතාලියේ රැකියාවක නිරතවූ හෝ මරණයට පත්වීමට පෙර රැකියාවක නිරතවී INPS ආයතනය සමග රක්ෂණයට දායකවී ඇත්නම් මෙම “Pensione ai superstiti indiretta “නම් වක්‍ර විශ්‍රාම වැටුපට මරණයට පත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට හිමිකම් කිවහැකි අතර, විශ්‍රාම වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් ඔවුන්ට හිමිවේ.

මෙම වක්‍ර විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීමට නම් මරණයට පත්වූ පුද්ගලයා අඩුම වශයෙන් වසර 15ක (780 contributi settimanali) ජේෂ්ඨත්වයක් හා රක්ෂණ දායකත්වයක් (anzianità assicurativa e contributiva) තිබිය යුතු අතර එසේත් නැත්නම් අවමවශයෙන් වසර 5කවත් (260 contributi settimanali ) ජේෂ්ඨත්වයක් හා රක්ෂණ දායකත්වයක් (anzianità assicurativa e contributiva) තිබීම හා මරණයට පත්වන දිනයට පෙර අවම වශයෙන් මෙම වසර 5න් වසර 3ක් (156 contributi settimanali) නොකඩවා රක්ෂණයට දායකවී තිබිය යුතුය. මෙම කොන්දේසි දෙකෙන් එකක් හෝ සම්පූර්ණ නොවන අවස්ථාවකදී යැපෙන්නන්ට මෙම වක්‍ර විශ්‍රාම වැටුපට හිමිකම් කිව නොහැක.

මරණයට පත්වූ පුද්ගලයා, මරණයට පත්වෙන අවස්ථාවේ විශ්‍රාම වැටුපක් ලබමින් සිටියා නම්, එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට, එම විශ්‍රාම වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයකට හිමිකම් කිවහැක. එය “Pensione reversibilità (Pensione diretta)” යනුවෙන් හැදින්වේ.

විශ්‍රාම වැටුපට අයිතිවාසිකම් කිවහැකි පාර්ශවයන් වන්නේ;

  1. බිරිද හෝ ස්වාමීපුරැෂයා
  2. අධිකරණය විසින් තීන්දුකල නඩත්තු දීමනාවක් ලබන දික්කසාද වූ බිරිද හෝ ස්වාමිපුරැෂයා – Il titolare di un assegno di mantenimento ( නැවත විවාහවී නොතිබිය යුතු අතර මියගිය පුද්ගලයා දික්කසාද තීන්දුවට පෙර INPS ආයතනය සමග රක්ෂණ දායකත්වය ආරම්භකර තිබිය යුතුයි. )
  3. යම් හෙයකින් මරණයට පත්වූ පුද්ගලයා දික්කසාදයෙන් පසු නැවත විවාහවී තිබුනානම්, පෙර විවාහයේ කාලත්‍රයා හා වර්තමාන විවාහයේ කාලත්‍රයාට විශ්‍රාම වැටුපෙන් හිමිවිය යුතු ප්‍රමාණය අධිකරණ තීන්දුවකින් තීරණය කරනු ඇත.
  4. මියගිය පුද්ගලයාගේ බාලවයස්කාර දරැවන්
  5. රැකියාවක නිරතවිය නොහැකි, මියගිය පුද්ගලයාගෙන් යැපුන දරැවන් ( ඔවුන්ගේ වයස්සීමාවක් නොමැත)
  6. උසස් අධය්‍යාපන ආයතනයන්හි අධය්‍යාපනය ලබන, රැකියාවක් නොකරන,මියගිය පුද්ගලයාගෙන් යැපුන වයස අවුරැදු 21 දක්වා වන වැඩිහිටි සිසුන් (ඉතා අඩු ආදායමක් ලබන රැකියාවක නිරතවීමට මෙම සිසුන්ට හැකියාව ඇති අතර එය වක්‍ර විශ්‍රාම වැටුප ලැබීමට බාධාවක් වන්නේ නැත)
  7. විශ්ව විද්‍යාලයන්හි අධය්‍යාපනය ලබන, රැකියාවක් නොකරන මියගිය පුද්ගලයාගෙන් යැපුන වයස අවුරැදු 26 දක්වා වන වැඩිහිටි සිසුන්. (ඉතා අඩු ආදායමක් ලබන රැකියාවක නිරතවීමට මෙම සිසුන්ට හැකියාව ඇති අතර එය වක්‍ර විශ්‍රාම වැටුප ලැබීමට බාධාවක් වන්නේ නැත)

මියගිය පුද්ගලයාගේ කාලත්‍රයා හෝ දරැවන් නොමැති අවස්ථාවක පමණක්, දරැවන්ගේ බාලවයස්කාර දරැවන්ට (i nipoti) දෙමව්පියන්ට හෝ අවිවාහක සහෝදර සහෝදරියන්ට මෙම වක්‍ර විශ්‍රාම වැටුපට හිමිකම් කිවහැකි අතර, එහිදීද කොන්දේසි සමූහයක් සපුරාලිය යුතුයි.

  • මෙම දරැවන්ගේ බාලවයස්කාර දරැවන් (i Nipoti),මියගිය පුද්ගලයා සමඟ එකම නිවසේ වාසය කිරීම / ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත නොවීම නැතහොත්, ඔවුන් පැවරුම්කරු (සීයා හෝ ආච්චි) සමඟ එකම නිවසේ වාසය කිරීම නොකළත්, එම දරැවන්ගේ නඩත්තුව මියගිය පුද්ගලයා විසින් කලබවට ඔප්පුකල යුතුය.
  • මියගිය පුද්ගලයාගේ දෙමව්පියන්

දෙමව්පියන්, තම දරැවා මිය යන අවස්ථාවේ අවම වශයෙන් වයස අවුරැදු 65ක් සම්පූර්ණවී තිබිය යුතු අතර විශ්‍රාම වැටුපකට හිමිකරැවන් නොවීම හා මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් බව සහතික කර යුතුයි.

  • අවිවාහක සහෝදර සහෝදරියන්
  • රැකියාවක නිරතවීමට නොහැකි මට්ටමේ සෞඛ‍ය්‍ය හේතුන් තිබීම,විශ්‍රාම වැටුපකට හිමිකරැවන් නොවීම හා මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් බව සහතික කර යුතුයි.

කොපමණ විශ්‍රාම වැටුපක් ලබාගත හැකිද?

මියගිය විශ්‍රාමිකයා ලබාගත් විශ්‍රාම වැටුපෙන් යම්ප්‍රතිශතයක් හෝ මියගිය පුද්ගලයා දැනටමත් ගෙවාඇති රක්ෂණදායකත්වය අනුව තීරණය වෙන විශ්‍රාම වැටුපෙන් යම් ප්‍රතිශතයකට සාමාන වේ.

  • පුද්ගලයන් ප්‍රතිශතයන්
  • කාලත්‍රයා 60%
  • කාලත්‍රයා හා එක් දරැවෙකු 80%
  • කාලත්‍රයා හා දරැවන් 2ක් හෝ වැඩි ගණනක් 100%

කාලත්‍රයා නොමැති අවස්ථාවල දරැවන්ට, දරැවන්ගේ බාලවයස්කාර දරැවන්ට, දෙමව්පියන්ට හෝ අවිවාහක සහෝදර සහෝදරියන්ට මියගිය පුද්ගලයාගේ විශ්‍රාම වැටුපට, ඉහතින් සදහන් කල කොන්දේසිවලට යටත්ව ඉල්ලුම්කල හැක.

පුද්ගලයන් ප්‍රතිශතයන්

  • එක් දරැවෙකු 70%
  • දරැවන් 2කු නම් 80%
  • දරැවන් 3ක් හා වැඩිගණනක් 100%
  • මව්පියන්ගෙන් එක් අයෙකුට 15%
  • දෙමවිපියන් දෙදෙනාටම 30%
  • එක් සහෝදරියෙක් හෝ සහෝදරයෙකුට 15%
  • සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට 30%

එසේම කාලත්‍රයාට, දෙමව්පියන්ට හෝ සහෝදර සහෝදරයින්ට වෙනත් ආදායම් තිබේනම්, සීමාවකට යටත්ව මෙම මියගිය පුද්ගලයාගේ වක්‍ර විශ්‍රාම වැටුපටද හිමිකම් කිව හැක (CUMULO DELLE PENSIONI AI SUPERSTITI CON I REDDITI DEL BENEFICIARIO) . එම සීමාවන් වර්ෂයක් පාසා රජය විසින් තීරණය කරණු ලබයි. එසේම රජය විසින් නියම කරන ලබන සීමාව ඉක්මවා, වක්‍ර විශ්‍රාම වැටුප් ප්‍රතිලාභියා ආදායම් ලබන්නේ නම්, වක්‍ර විශ්‍රාම වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් අහිමිවීම හෝ සම්පූර්ණයෙන්ම අහිමිවීමේ අවධානමක් ඇත. එසේම ප්‍රතිලාභියාගේ පවුලේ බාලවයස්කරැවන්, ශිෂය්‍යන් හෝ රැකියාවක නිරතවිය නොහැකි පුද්ගලයන් සිටීනම් මෙම සීමාවන් බලපාන්නේ නැත.
පහත සදහන් වන්නේ පසුගිය වර්ෂයේ රජය විසින් තීරණය කල ආදායම් සීමාවයි.

වර්ෂය ආදායම් සීමාව අඩුවීමේ ප්‍රතිශතය

  • 2020 € 20.107,62 දක්වා අඩුවීමක් නොමැත.
  • € 20.107,62 වැඩි € 26.810,16 දක්වා 25%
  • € 26.810,16 වැඩි € 33.512,70 දක්වා 40%
  • € 33.512,70 වැඩි 50%

මෙම වක්‍ර විශ්‍රාම වැටුප කවදා සිට ලබාගත හැකිද?

විශ්‍රාම වැටුප ආරම්භ වන්නේ විශ්‍රාමිකයාගේ හෝ රක්‍ෂිත පුද්ගලයාගේ මරණයෙන් පසු මාසයේ පළමු දිනයේදීය.

L’indennità una tantum

යම් හෙයකින්, මිය ගිය පුද්ගලයා රැකියාවේ නිරතවී සිටියදී, (1995/12/31න් පසුව රැකියාව ආරම්භ කර,) විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට තරම් රක්ෂණයට දායක වී නොමැති නම්, මරණයට පත්වූ තැනැත්තාගේ යැපෙන්නන්ට වක්‍ර විශ්‍රාම වැටුපට (Pensione indiretta) හිමිකම් කිව නොහැක. එවන් අවස්ථාවලදී L’indennità una tantum නම් මුදලක්, මරණයට පත්වූ පුද්ගලයා රක්ෂණයට දායකවූ ප්‍රමාණය සලකා බලමින් INPS ආයතනය මගින් යැපෙන්නන්ට එකවර ලබා දෙනු ලබයි.

මියගිය පුද්ගලයාගේ (සේවකයාගේ හෝ විශ්‍රාමලාභීයාගේ) මරණයෙන් වසරක් ඇතුලත, යැපෙන්නන් විසින් මෙම වක්‍ර විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කල යුතුයි.

මියගිය පුද්ගලයාගේ කාලත්‍රයා නැවත විවාහ වීම, අධය්‍යාපනය ලබන දරැවන්ගේ විශ්වවිදය්‍යාල පාඨමාලාවන් අවසාන වීම හෝ ඔවුන්ගේ වයස අවුරැදු 26ක් සම්පූර්ණවීම, රැකියාවක නිරතවීමට නොහැකිවූ වක්‍ර විශ්‍රාම වැටුපේ ප්‍රථිලාභීන් රැකියාවක් නිරතවීමට හැකි තත්වයකට පත්වීම, දෙමව්පියන් වෙනත් විශ්‍රාම වැටුපකට හිමිකම් කීම, අවිවාහකව සිටි සහෝදර සහෝදරියන් විවාහයන්ට එලඹීම වැනි කරැණු හේතුවෙන් මෙම වක්‍ර විශ්‍රාම වැටුප් ලැබීමේ අයිතිය අහිමි වේ.

එසේම වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නා වැන්දඹු කාලාත්‍රයාට නව විවාහයකට එලඹීමට අවශය්‍ය නම්, තම නව විවාහ සහතිකය හා විශ්‍රාම වැටුප් සහතිකයේ අංකය සමග ඉන්ප්ස් ආයතනයට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමෙන් වක්‍ර විශ්‍රාම වැටුප ලැබීමට ඇතිහිමිකම අහිමිවන අතර, දැනට ලබාගත් විශ්‍රාම වාරිකය මෙන් 26 ගුණයක මුදලක් (una doppia annualità, corrispondente a 26 volte l’importo della pensione percepita alla data del nuovo matrimonio) නව විවාහයට පිවිසෙන පුද්ගලයාට INPS ආයතනයෙන් ලබාදෙයි.

මේ සදහා ඉල්ලුම්පත්‍ර යොමුකල යුතු ආකාරය;

INPS වෙබ් අඩවිය හරහා හෝ Patronato ආයතනයක සහාය ලබාගත හැක

සකස් කලේ
Mallika Gamage

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *