අවුරුදු 04 පහුවූ අයට රියදුරු බලපත​

වෙරෝනා නගරයෙන් එන රියදුරු බලපත්‍ර අවුල

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයට මාරු කර ගැනීමට වසර 4 ක කාලයක් ලබා දී තිබෙන අවස්ථාව මග හැර හොර පාරෙන් වැඩ කර ගන්න දගලන ලාංකිකයන් ගැන ඇත්තටම තියෙන්නේ පුදුම කනගාටුවක්. වසර 4 ක රෙසිඩන්ට් පරන කෙනෙක් කියන්නේ අවම වශයෙන් නිත්‍යානුකූලව වසර 5 ක පමන කාලයක් වත් ඉතාලිය තුල ගත කරපු අයෙක්. එහෙම කෙනෙකුට වංචාව හෝ ⁣කල නොහැකි දෙයක් ගැන වටහා ගන්නට බැහැ කියන්නේ සාමාන්‍ය දැනුමේ අඩුපාඩුවක් කියලයි හිතෙන්නේ.

ඉතාලියේදි අපට අවශ්‍ය විදේශික රටක ඕනෑම ලියකියවිල්ලක් බලය ලත් විදේශ භාෂා පරිවර්තන ආයතනයකින් පරිවර්තනය කරලා එය පලාතේ උසාවියෙන් සහතික කරගන්න පුළුවන්. එම අවස්ථාව පාවිච්චි කරලා තමා මේ රියදුරු බලපත්‍රයත් පරිවර්තනය කරන්නේ. එය පරිවර්තනය කරා කියලා එමගින් ඉතාලි රියදුරු බලපත්‍රය ලබා ගන්න බැහැ. අයදුම්කරුට රෙසිඩන්ට් ලබා ගන්නා තෙක් වසරක පමන කාලයක් එම පරිවර්තනය මගින් රිය පැදවීමට හැකියි. වසරකින් පසු එම පරිවර්තනය මගින් රිය පැදවීමට එය නිත්‍යානුකූලව වලංගු නැහැ. සමහර මාර්ග බාධක වලදි සමහර නිලධාරීන් එය පිලිගන්න පුළුවන්. ඒ සහනය එම අවස්ථාවේ එතන සිටින නිලධාරීන් අනුව සිදුවන දෙයක්. නමුත් මාර්ග අනතුරක් සිදුවූ අවස්ථාවක එම පරිවර්තන ඉතාලි උසාවියක් පිලිගන්නේ නැහැ. වසරකට පසුව මෙම පරිවර්තනය භාවිතා කරමින් රිය පදවා මාර්ග අනතුරක් කලහොත් රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවූ වරදට දඩුවම් කිරීමට අදාල නිලධාරීන්ට හැකියාව තියෙනවා. අනතුරක් සිදුවුවහොත් අපරාධ ගනයේ වරදකට දඩුවම් ලැබීමටද පිලිවන. ඒ හා සමානව විශාල දඩයකටද යටත් වීමට පුලුවන.

ඉතාලිය⁣ට පැමිණ රෙසිඩන්ට් දැමු පසු වසර 4 ක කාලයක් ලබා දීලා තියෙනවා අපගේ රියදුරු බලපත්‍රය පරිවර්තනය කර ඉතාලි රියදුරු බලපත්‍රයකට අනුවර්තනය කරගන්න. එය සැහෙන්න කාලයක්. ඒ නීතිය ලංකාවට පමනක් ලබා දුන් විශේෂ නීතියක් නොවන අතර, ඉතාලිය සමග ගිවිසුම අත්සන් කර තිබෙන රටවලට ලබා දුන් සහනයක්. ඒ වසර 4 තුල එය ඉටුකර නොගත්, හිතමතාම අවස්ථාව අහිමි කරගත් ලාංකිකයන් මේ වගේ වංචාවන් පසුපස යාමත් එක්තරා අරුමයක්. ඉතාලියේ නීතිය⁣ට අනුව ඉතාලියේ නිත්‍යානුකූලව රැදී සිටින අයෙකු වසරක් ඇතුලත මෙහි රෙසිඩන්ට් දැමිය යුතුයි. මෙයට පෙර නම් තානාපති කාර්යාලය ලබා දුන් රියදුරු බලපත්‍ර පරිවර්තනය පලාතේ Prefettura ආයතනය සහතික කිරීමෙන් අනතුරුව වසරක කාලයක් රිය පැදවීම කරා. ඒ රෙසිඩන්ට් ලබා ගැනිමට කාලයක් අවශ්‍ය වූ බැවින්.

ඒ වගේම තවත් මෙවැනි තව දෙයකුත් සිදුවෙමින් පවතිනවා. ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සදහා ඉදිරිපත් කල යුතු අපගේ ලියකියවිලි අනිවාර්යයෙන් ලංකාවේ තිබෙන ඉතාලි තානාපති කාර්යාලයෙන් පරිවර්තන සහතික කර ගත යුතුව තිබේ. නමුත් වෙරෝනා නගරයෙන් ද ඒ සදහා උසාවි පරිවර්තනය පිලිගන්නා බවට කියමින් ඒ පරිවර්තන ඉතාලි පුරවැසිභාවය සදහා ඉදිරිපත් කරනවා. එම අයදුම් පත් ඔන්ලයින් මගින් යොමු කරන නිසා අයදුම් කරන්න පුළුවන් වුනත් පසු කලකදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිරික්ෂණයට ලක් වීමෙන් අයදුම් පත් නිෂ්ප්‍රභා වීමට පුළුවන්. එම අයුරින් කල හැකි වෙනම රටවල් පවතිනවා. එම අවස්ථාව ලංකාවට වලංගු නැහැ.

ඉතාලියේ පිහිටි ලංකාවේ තානාපති කාර්යාලය මගින් වසර 4 කට වැඩි රෙසිඩන්ට් තියෙන අයගේ රියදුරු බලපත්‍ර පරිවර්තනය නොකරන හෙයින් එය මේ විදියට පරිවර්තනය කිරීමක් කරගන්නට අපගේ අය උනන්දුව දක්වනවා වෙන්න පුළුවන්. නමුත් එය නිෂ්ඵල දෙයක්.

තවද මේ නව සනතෝරි නීතියට අයදුම් කල ලාංකික අයත් මෙම අවස්ථාව ලබා ගන්න උනන්දු වන බවකුත් දක්නට ලැබෙනවා. නව නීතියට අයදුම් කල අයට තවම විසිමේ බලපත්‍රයවත් ලැබී නොමැති අවස්ථාවක මේ වගේ මෝඩ තීරණ වලට යාම නම් පිලිගන්නට බැහැ. එම පරිවර්තනය සමග පලමු වසර තුල රිය පැදවීමට අනිවාර්යයෙන් විසිමේ බලපත්‍රය තිබුය යුතු බවවත් හිතන්නට ඒ අයට නොහැකිවීම කනගාටුවට කරුනක්. තානාපති කාර්යාලයෙන් පරිවර්තනය නොකර මේ වගේ පරිවර්තනය කරන්න අවශ්‍ය නම් එයට යූරෝ 700 සිට යූරෝ 1500 අතර වගේ ගනන් ගෙවන්නට ඕනේ නැහැ. ඔබට එය කර ගැනීමට අවශ්‍යම නම් තම පලාතේ බලයලත් භාෂා පරිවර්තකයකුගෙන් එම රියදුරු බලපත්‍රය පරිවර්තනය කර පලාතේ උසාවියෙන් එය සහතික කර ගන්න පුළුවන්. එයට එච්චර මුදලක් වැය වන්නේ නැහැ. නමුත් එය ඉදිරිපත් කර ඉතාලි රියදුරු බලපත්‍රයට එය මාරුකරගන්නට නොහැකියි. ලංකාවේ රියදුරු බලපත්‍රය මගින් ඉතාලි රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් ලංකාවේ තානාපති කාර්යාලය හරහා ඒ දෙය සිදු කර ගත යුතු වෙනවා.

අපේ බොහෝ අය නිත්‍යානුකූලව කරගත හැකි මාර්ග තියාගෙන හොර පාරෙන් වැඩ කරගන්න තියෙන්නේ පුදුම උනන්දුවක්. ඒකත් හරියට අර සරණාගත භාවය නොමිලේ කර ගන්න තිබු අවස්ථාවට යූරෝ 2000 වගේ මුදල් හොරුන්ට වැය කරා වගේ. තවද කවුරු හෝ මොනයම් හෝ දෙයක් කරනවා කිව්වම කිසිදු සෙවිල්ලක් නැතිව ඒ පසුපස යන්නේ බලු රැලක එක බල්ලෙක් බිරුවම බලු රංචුවම ඔහේ බුරනවා වගේ. බොහෝම කනගාටුවට කරුනක් ඒක.

මේ ලිපිය සමහර තැරව්කාරයන්ට මෙන්ම මුදලට ගිජුව මේ සදහා අසරණ ලාංකිකයන්ව අපහසුතාවයට පත් කරන අයට රිදෙන්නට පුලුවන. ඒ අයගේ පලිගැනීමකටද මාව ලක්වෙන්නට පිලිවන්. නමුත් සත්‍ය පහදා දීම යුතුකමක් බව මාගේ අදහසයි.

අජිත් හෙට්ටිආරච්චි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *