පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…

විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේ දී සලකා බලන කරුණු සම්බන්ධ සශෝධනයක් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටිය දී නිත්‍යනුකූල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් එවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබාදීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර සඳහන් කළේය. ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට ගුවන් ටිකට් පත් පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙ මින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉදිරියේ දී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා මෙහි දී සඳහන් කළේය.

ඊට අමතරව ඔවුන්ට ගුවන් තොටුපළේ දී භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලබාදෙන බදු සහන ඉහළ දමන බවත් නිවාස ඉදිකිරීම, ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුළු අනෙකුත් සහන ලබාදීමේ දී රටට එවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts